Saturday, April 23, 2011

බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ



අපි ඈතට ඈතට පා නගලා
ගන වනන්තරේ
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ අප ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

කෙසේ ද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑ හිත මිතුරන් මගතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙළෙස ද ගැලවෙන්නේ


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

නැත ලොවේ අන් රසඳුනා... ආදරේ සේ සුවදෙනා...

මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් නිමැවුණු මේ වැකිය ‘තත්සර ඇසුරෙහි කීප වාරයක් ම ලියැවෙන්නට ඇත. ආදරය ගැන ලියැවෙන බොහෝ අවස්ථාවල එය නිබඳ ව සිහිපත් වේ. ආදරයක දිග පළල ගැඹුර සොයන්නට තැත් කිරීම විශ්වයේ කෙළවර සොයන තරමට ම සංකීර්ණ ය. අවසාන තීන්දුව වන්නේ ආදරය යනු ආදරය ම මිස අනෙකක් නොවන බවයි.
ආදරය කරන්නන් මිහිපිට පය ගසා සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ සිතුවිලි අහසේ සැරිසරයි. නිල් වළාකුළු කඳු වැටි අතරින් පාවී ඉර හඳ තරු අතරින් විශ්වයේ අනන්තය තෙක් පාවී යයි. ඔවුහු ලෝකයේ සියලු භෞතික වස්තූන්ගෙන් වෙන්වී තමන්ගේ මනෝලෝක තුළ කූඩුවෙති.
සාගරයේ ජලය නිමා නොවන්නාක් මෙන් ආදරය පිළිබඳ වස්තු බීජ නිමා නොවන්නේ එබැවිනි.

මේ ගීතයට පාදකවන්නේ ද පෙම්වතුන්ගේ රොමැන්ටික් සිහිනයකි. තමා පයගසා සිටින ලෝකයේ, ගල් බොරලු වැටකඩොලු සීමා මායිම් තැනෙද්දී ඔවුහු පියවි ලොවින් ඈත් වීමට ආශා කරති. ඔවුන් ප්‍රාර්ථනා කරන ලෝකය අතිශයින් මනරම් ය. රචකයා ඒ සිහිනය මෙසේ ස්පර්ශ කරයි.
Read more »

No comments:

Post a Comment