දුර ඈත කවදා හෝ මේ ගීතය ඇසුණා මට මතක ය. ඒ පාළු රාත්‍රියක ගුවන්විදුලියෙනි. ගීතයක ගැඹුර, අරුත වටහාගත හැකි වයසක එකල මම නොසිටියෙමි. එහෙත් පාළු හුදෙකලා බවකින් මගේ මනස වෙලී ගියා මට මතකය. ඒ තනුව හා ගායනය නිසා මිස අරුත නිසා නොවේ. “උලලේනෝ” යන යෙදුම කපුගේ සතු නාසික්‍ය හඬ ඔස්සේ ඇද පැද ගයන අයුරු අනුකරණය කරමින් මම මේ ගීතය රසවින්දෙමි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නික/පොන්නිලව මිශ්‍ර පාසලේ ගුරු නිවාසය මට තාමත් මතක ය. මගේ පියා හා මව නවාතැන්ගෙන සිටි ඒ ගුරු නිවාසය පිටුපස විශාල කැලයකි. මැදියම් රෑ ඒ කැළෑව මැදින් මතුවී එන උලලේනා ගේ හඬ මට තාමත් මතක ය. මා බියගන්වන, ඒ විලාපය රසයක් බවට පත් කරගනිමින් මම ටිකින් ටික මේ ගීතයට සමීප වීමි. එහෙත් මේ ගීතයට මූලික වූ අනුභූ®තිය පිළිබඳ ව මට අසන්නට ලැබෙන්නේ ඊට බොහෝ කලකට පසු ව ය.
ශ්‍රී ලංකාවේ පළමු තරුණ නැඟිටීම ලෙස සැලකෙන්නේ එකදාස් නමසිය හැත්තෑඑකේ අප්‍රේල් කැරැල්ලයි. අප්‍රේල් පස්වැනි දා ඇරැඹි ඒ කැරැල්ල සති කීපයක් යන විට අඩපණ වී ගොස් කැරලිකරුවෝ කැළෑ වැදුණා.
එසේ සියල්ල අහිමිව පරාජිතව වනගත වී සිටින මොහොතක කැරලිකරුවකුට මුළු රාත්‍රිය පුරා ඇසෙන්නේ උලලේනාගේ හඬයි. (ඒ කැරලිකරුවා මෙහි රචකයා දැයි මම නොදනිමි) විප්ලවයේ මළගම මෙ හඬත් සමඟ ඔහු අත්විඳියි. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පසුකලෙක මේ ගීතය සඳහා යොදා ගන්නේ මේ අනුභූතියයි. එහෙත් මේ අත්දැකීමෙන් පරිබාහිර ව වුවද මේ නිර්මාණයෙන් යම් රසයක් අත්විඳිය හැකි ය.එහෙත් මෙම අත්දැකීම ඔස්සේ සියල්ලට ම වඩා හොඳින් මේ නිර්මාණය රසවිඳිය හැකි ය.
Read more »

No comments:
Post a Comment